Wednesday, January 12, 2011

මං ආසයි

හරිත ලපලු තුරු වදුලක
ගිම් නිවන්න මං ආසයි
නිල වැතිරුණු නුබ කුසයට
වැතිර ඉන්න මං ආසයි
වෙරළ කොණේ ගුම් නද මැද
නෙතු පියන්න මං ආසයි
ඉහ රත්වෙන අව් ‍රැල්ලක
ඇවිද යන්න මං ආසයි

ඉර ගිලිහෙන හැන්දෑවක
කවි ගොතන්න මං ආසයි
පොද වැහි මැද හෙමින් සැරේ
පියමනින්න මං ආසයි
පාට වැ‍ටුණු මල් පෙති මත
පිණි දකින්න මං ආසයි
පවන් රොදක දැවටී එන
මල් සුවඳට මං ආසයි

තරු ගිලිහුණ රෑ ගන'ඳුර
උහුලගන්න මං ආසයි
වැහි බීරුම තියෙන දාක
ගුලි ගැහෙන්න මං ආසයි
තනිකඩ වුණු සිතුවිලි මැද
තනි රකින්න මං ආසයි
කෝඩුකාර සිතුවිලි ළඟ
දඟ කරන්න මං ආසයි

නිමේශයක් හැබෑ ලොවෙන්
වහං වෙන්න මං ආසයි
ලොවේ සොඳුර හදවතින්ම
වැළඳ ගන්න මං ආසයි
ඒ මතකය සදා කල්ම
පණ පොවන්න මං ආසයි
නිරන්තරව තොරක් නැතුව
රහ විඳින්න මං ආසයි

2 comments:

  1. ඔබ ආස පද ගොතන්න
    උල්පතින් මතු කරන්න
    ඒ කවි මුතු රසවිඳින්න
    කවදත් අපි ආසයි


    සුපුරුදු සොබාදහම හිතට මොන තරම් නම් සමීපද...
    කාලෙකට පසුව ඔබෙන් අගේ ඇති කවි පන්තියක්. හරිම ලස්සනයි.

    ReplyDelete
  2. හරිම අපූරු පදවැලක්. වෙහෙසෙන දවසක් අවසන මෙහෙම කව් මිණක් කියවන එක පවා සිතට ලොකු විවේකයක්. හැබැහින්ම කරන්න ඇත්නම් මොනතරම් අගේද? බොහොම ස්තුතියි. සුභ පැතුම්.

    ReplyDelete