Sunday, November 27, 2011

හිත හදා ගන්නට

හිත හදා ගන්නම නොහැකි තැන
ලුහු බඳින මතකය තබා ලය
අත පොවන හරියට බෝ දුරක
හිත හැඟුම් විරසක කරන්නද???

මඟ නොමඟ පැටලෙන අහස යට
දිවි ‍රැක්ක අසරණ කවි හිතට
බුබුළන්න දිය දුන් පැතුමකට
කොයි කරම් කෙනෙහිළි තරව‍ටුද

හිම වගේ හීතල හිත මතට
වට රශ්මි කිරණක ස්පර්ශයට
හිරි වැ‍ටුණ සීතල දොවා ගෙන
හදවතේ උණුහුම නංවන්න

ලය නගන කෙඳිරිලි ස්වර වුවද
රස ගෙත්තමක පද රූ මවත
හිත හදා ගන්නට ඒ මදිද
නෙත නිවා ගන්නට ඒ ඇත්ද???

Saturday, September 10, 2011

වසන්තයේ අග

බඹරුනට මඟ හැරුණු
පෙති හැළුන කුසුමකට
ඇල් මැරුණු පින්නෙ
සිහිලස කුමට...

හිරු තැවුල ගිනි ලෑව
මල් රේණු පිස නැගුණ
මඳ පවනෙ තවත්
සුවඳක් කොහිද...

හාදු අමතකව ගිය
ශේෂ වූ මල් පෙත්ත
පාට කිමදැයි
කුමට විමසම්ද...

උදා වන සරත් කල
ලං වෙද්දි
නිමා වෙන වසන්තය
මෙය නොවෙද...

Monday, September 5, 2011

හිස්තැන්

හිත හිස් වෙලා
හිතන්නට මොකවත්ම
නැත්තටම නැති තරම්
හිතෙන්නට කිසිවක්ම
දැනෙන්නෙත් නැති තරම්
පතන්නට හිතුමතේ
පැතුමන්ද නැති තරම්
හිත හිස් වෙලා

මුව ගොළු වෙලා
මුමුණන්න මුව පුරා
කවියක්ද නැති තරම්
ගයන්නට හිත පුරා
ගැයුමන්ද නැති තරම්
තොල'තරින් ගිලිහෙනා
පදබැඳුම් නැති තරම්
මුව ගොලුවෙලා

නෙතු වියැළිලා
උනන්නට නෙතු පුරා
උල්පතක් නැති තරම්
හෙළන්නට ඉකි ගසා
කඳුළැල්ද නැති තරම්
හිනාවී හිනාවී
ඇඬෙන්නෙත් නැති තරම්
නෙතු වියැළිලා

මඟ පැටළිලා
කවුරුන්ද කාගේද
මතකයක් නැති තරම්
කොහේදැයි කෙසේදැයි
හසරක්ද නැති තරම්
කවදාක කෙලෙසකද
නිනව්වක් නැති තරම්
මඟ පැටළිලා

Wednesday, February 9, 2011

බොල්

වරද...
කොහිදැයි සොයමි
මුනිවත....!!!
පිළිවදන්...
නොමැත්තෙන්
යළි යළිත්නොවිමසා
ගොළුවතට ඉඩ හලෙමි
ටික් ටික් ටික්
දවස ලිස්සා යමින්
හරි හෙමින්
පිළුණු වී
තව දිනක්
තව බරක්
උර මතට
දහවලක
පීඩනය
කර මතට
කොළ හැළුන
මල් වැරුව
කඳ මැද්ද
බොල් වෙච්ච
ගහක් නම්
තව මොකට
කොළත් නැති
මලුත් නැති
එපමණක්???
නැහැ නෙවද
අර‍ටුවක්..
මුල් දිරන
තරම් කල්
දරා ගෙන
වැහි හුළඟ
ඉර අව්ව පායද්දි
අයාගෙන දිරන කය
මූසලම හිම එක්ක
කුණා‍ටුව ආවාම
තව ඉතින්
මක් වේද???

Saturday, February 5, 2011

දොර හරින්න

ඉස්සර වගෙ කවි ගොතන්න
පිල් කඩ උඩ ගී අහන්න
ලස්සන සිතුවම් විඳින්න
මං ආවා දොර හරින්න

මංකඩ ළඟ තනි මකන්න
රං තරුකැට එළි ගනින්න
ගං මැදිවල වග අහන්න
පිං ඇති මිතු දම් විඳින්න

හද උල්පත බෙදා ලන්න
සැප දුක මැද කවි ලියන්න
අවකාසෙට මුදාලන්න
දැනමුතු කම් ලබා ගන්න

සංවාදෙට පණ පොවන්න
කල් නැහැ දැන් නිදි වරන්න
හිතවත් කම් අඩු නොවන්න
මේ කව් මල් ඔබට මෙන්න

Wednesday, January 19, 2011

කැදැල්ල

මම බලා සිටියා ඔහේ
හිස් බැල්මකින් හිස් බැල්මකට
ඔය නෙතු නොදු‍ටු උණු කඳුලකට
ඉඩ තබා ගෙන මගෙ කොපුල මත
අකීකරු සුසුමන් සරින්
නුඹ නෙතු නගාවීදැයි බියෙන්..........
නුඹ දු‍ටුවෙ නැතුවට කඳුළු කැට
සීතල වුණා බිම වැටෙන විට
බර සුසුම් පොදි පොදි නැගෙන විට
මිලිනව ගියා හද පැතුම් මල.........
සත් වසක සෙනෙහස හිස තියන්
තව කොයි තරම් නම් දුර බලන්
හදවතේ සීමා පහු කරන්
හිත අද්දරින් වෙන් වී නොයන්.........
අපි හදපු කූඩුව ඉහ තියන්
බෝ දුරක් ආ වග සත්ත නම්
පොඩි පැටවුනුත් අපෙ ළං කරන්
මේ කැදැල්ලෙම ඉමු උණුහුමින්............

Wednesday, January 12, 2011

මං ආසයි

හරිත ලපලු තුරු වදුලක
ගිම් නිවන්න මං ආසයි
නිල වැතිරුණු නුබ කුසයට
වැතිර ඉන්න මං ආසයි
වෙරළ කොණේ ගුම් නද මැද
නෙතු පියන්න මං ආසයි
ඉහ රත්වෙන අව් ‍රැල්ලක
ඇවිද යන්න මං ආසයි

ඉර ගිලිහෙන හැන්දෑවක
කවි ගොතන්න මං ආසයි
පොද වැහි මැද හෙමින් සැරේ
පියමනින්න මං ආසයි
පාට වැ‍ටුණු මල් පෙති මත
පිණි දකින්න මං ආසයි
පවන් රොදක දැවටී එන
මල් සුවඳට මං ආසයි

තරු ගිලිහුණ රෑ ගන'ඳුර
උහුලගන්න මං ආසයි
වැහි බීරුම තියෙන දාක
ගුලි ගැහෙන්න මං ආසයි
තනිකඩ වුණු සිතුවිලි මැද
තනි රකින්න මං ආසයි
කෝඩුකාර සිතුවිලි ළඟ
දඟ කරන්න මං ආසයි

නිමේශයක් හැබෑ ලොවෙන්
වහං වෙන්න මං ආසයි
ලොවේ සොඳුර හදවතින්ම
වැළඳ ගන්න මං ආසයි
ඒ මතකය සදා කල්ම
පණ පොවන්න මං ආසයි
නිරන්තරව තොරක් නැතුව
රහ විඳින්න මං ආසයි